වසරකුත් මාස කිහිපයක් ම මා වියුණු සටහනක් නොලීවේ එයට නිමිත්තක් නැතිවද නොවේ. අද මෙය මෙසේ ලියන්නේ නිමිත්තක් ඇතුව යයි සිතනා අය ද නොසිතනා අය ද ඇත. මමත් එවැනි න්‍යුට්‍රල් හා/හෝ නර්වස් මය හැඟීමකින් නිරුත්තර ය. මා ඉපදුන දිස්ත්‍රික්කය ගම්පහ ය. මා ලොකු මහත්වී අධ්‍යාපනය ලැබූ දිස්ත්‍රික්කය ද ගම්පහ ය. ඉපදුන දා පටන් අද දක්වා දශක තුනකට ආසන්න කාලයක් මා දිවි ගෙවන්නේත් ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ය. මා තාම විවාහ වී නැති නිසා මාගේ Fiancé ගම්පහ දිස්ත්‍රික්කයේ ද කියා කීමටත් තවම මට නොහැකිය. නමුත් එවකට මගේ එක් ප්‍රාර්ථනාවක් වූයේ ගම්පහින් ම මාගේ එම කර්තව්‍යය සිද්ධ කරගැනීමට ය. ඒවා එසේම තිබියදී ගම්පහ යනු ඉතා ආකර්ෂණීය සේම ඇතැමුන්ගේ සිත් වල නෙගටිව් මතක සහ නෙගටිව්මය පොසිටිව් මතක රැසකට හේතු වූ නගරයකි.
මා ගම්පහ දැනගන්නේ ඉතා කුඩාම කාලයේ ය. කුඩා කල අප හට පුද්ගලික වාහනයක් නොවූයෙන් අප ගමන් යාම සඳහා භාවිත කළේ කුලී රථ සහ පොදු ප්‍රවාහන සේවා වේ. මා ගේ අවිදුර දෘශ්‍ටිකත්ව රෝගයට ප්‍රතිකාර සඳහා කොළඹ ඇස් රෝහලට ගියේත් මේ ගම්පහ දුම්රිය ස්ථානය පසුකරගෙන වේ. ඉන් පසුව පාසලේ 7 වසර මැද වන විට මම පරිගණක අධ්‍යාපන කටයුතු සඳහා ගම්පහ පැමිණීයෙමි. ඒ 2002 ය. එතැනින් පසු බොහෝ විට සතියකට දෙවතාවක් හෝ ඊටත් වඩා වතාවන් ගණනක් මම ගම්පහ නගරයට පැමිණීම සාමාන්‍ය දෙයක් විය. එමෙන්ම මා අන්තර්ජාල භාවිතයට දැඩි සේ යොමු වූයේත් ගම්පහ තිබූ Internet Cafe වලට පිං සිද්ධවන්නට ය.
මෙසේ කාලය ගෙවී ගොස් මා 10 11 වසර වල ඉගෙනගන්න කාලයේ නම් ගම්පහ ඒමට තවත් හේතු ඇති විය. ඒ මාගේ පංති වල ඉගෙනගන්නා කෙල්ලන් බැලීමට ය. අද මෙන් social media නැති එම කාලයේ මගේ එකම chat කිරීමේ ක්‍රමය Yahoo Messenger වී තිබුණි. එසේත් නැත්නම් රුපියල් 2.60 වියදම් කොට SMS කොටා යැවීමි. අදටත් මා සතුව පවතින්නේ 10 වසරේ දී රුපියල් 1500 ක් වියදම් කොට, මාගේ තාත්තාගේ හැඳුනුම්පතට ලබාගත් 077 98 20 6** අංකය හිමි ඒ අජරාමර ඩයලොග් සිම් පත වේ. එය නම් ගම්පහින් නොව මීරිගම එවකට රාව ප්‍රතිරාව නැංවූ Peace Sun Communication එකෙන් මිළදීගත්‍තෙමි.
ඉහතදී මා කතා කළ කෙල්ලන් බැලීම වනාහි වත්මනේදී මෙන් නොව 2006, 2007 කාලයේදී අපි ඉතාම සුන්දරවද බොහෝ බලාපොරොත්තු සහිතව කළ ක්‍රියාවකි. නමුත් මා නම් උංගෙං කිසිම දවසක කැමැත්ත නම් අසා නැත. ඒ මා කටකතා වලින් ගම්පහ කෙල්ලන්ගේ විවිධ විවිධ qualities අසා ඇති නිසා නොවේ. ඒවා සම්බන්ධව දැඩිව විශ්වාස නොකළ නිසා ද නොවේ. එම කෙල්ලන් මා හට "අනේ බෑ දිල්" යයි ප්‍රකාශ කළහොත් මාගෙ සිත වෙලාගෙන යන ඒ බ්ලඩී එක්ස්ප්‍රෙෂනයේ ඇති ඩල් ස්වභාවයත්, එය පරයා යන මල්ටි බැරල් ප්‍රහාරයකටත් වඩා බලවත් එම කම්පනයත් මට දරාගත හැකි වේදෝයි ඇති අවිනිශ්චිත කම නිසයි. මා 2017 පමණ වන තෙක් ම එම බිය මගේ සිත වෙලා සිටියේ ය. සියළුම බිය ට වඩා එම බියෙහි විශාල බව මගේ ඇස් පනාපිට ඕනෑ තරම් දැක ඇත්තෙමි.
එම කාලයේදී අපි සමහර පන්ති වලට නොයා අම්මලාට කොලේ වසා රස්තියාදු ගැසූ වාර අනන්ත ය. එසේම තැටිගතකිරීම් වලට සහභාගි වී රුපියල් 1000 ක් 2000 ක් ලද විට එය ද අපේ කොල්ලන් කෙල්ලන් සමග කඩචෝරු වලට වියදම් කළ අවස්ථා ද ඇත. එමෙන්ම කෙල්ලන් බැලීමට යශෝදරාව අවටත් රත්නාවලිය අවටත් මා ද අනෙකුත් කොල්ලන් ද රස්තියාදු වුන අවස්ථා එමට ය. අපේ ඇතැම් කොල්ලන්ට උදව් කරන්නේ (සාම්ප්‍රදායික ආකාරයෙන් ම) අර කෙල්ලංගේ යාළුවන් ය. ඒ එක්කෝ උං ව කඩචෝරු කෑමට එක්කගෙන යයි හෝ රස්තියාදු වල එක්කගෙන ගොස් ගෙදරටම ගෙනත් දමාවි ය යි වැනි අල්ලස් ලබාගැනීම් වලට ය. ඒව එසේ වුනත් එකල කොල්ලන් සහ කෙල්ලන් එක සේ මචංලා ය. රාත්‍රියක තනි වුන ද, එතැන එක් කෙල්ලෙක් කොල්ලන් සමූයක් සමග සිටියත් ඉතාම ආරක්ෂාවක් එතැන ඇත. දැන් මෙන් අන්තරායකර මත්ද්‍රව්‍ය එකල භාවිතයේ නැත. එකල එක්කෝ කොල්ලන් මුදල් එකතු කොට බීර මිලදී ගනිති. ඒ සමගම Gold Leaf තුන හතරක් සමග ඇතැම් විට බුලත් විටක් හෝ දෙකක් මිලදී ගනිති. මේ කාලයේ මෙන් එවකට කේරල ගංජා හෝ ක්‍රිස්ටල් මෙත් නැත. එමෙන් ම මතට ලොල් කෙල්ලන් ද ඒ කාලයේ මදක් දුර්ලභය. එක්කෝ උං බීර උගුරක් දෙකක් බී පෆ් දෙකක් හෝ තුනක් එසැන ඇද බොහෝ වේලාවක් එම දුම පෙනහැලි තුළ රඳවා තබාගෙන ලතාවකට මුදාහැර, පොඩි බුලත් කොල කෑල්ලක් සපා ඉස්ම උරන්නියෝ වේ. නැතිනම් අප බොන බීර උගුරට කෙල හලන්නියෝ වේ. මේවාට ගම්පහ විවිධ ස්ථාන සැකසී තිබුණි. ඉන් සමහර ස්ථානයන් පංති අසල ම වේ. මේ සියළුම දේවල් සමග එක දෙයක් කීමට තිබේ. කෙතරම් රස්තියාදු ගැසූවද එම රස්තියාදු ගැසූ සියල්ලන් අද හොඳ තැන් වල ය. උන් කිසිවිටෙකත් ජීවිතය වරද්දාගත්තේ නැත. මෙය වැරදි ආදර්ශයක් දීමක් ලෙස ඇතැමෙක් දුටුවත් එසේ නැත.
මට ගම්පහ තවත් සමීප වීමට එක් හේතුවක් වන්නේ 2014 වසරේ මට හමුවුන එක් චරිතයක් වේ. ඈ මගේ නොවන මගේ වැඩිමහල් සහෝදරිය වේ. මගේ නොවන මවකට සහ පියකුට දාව උපන් ඈ මගේ අක්කා වූවා ය. මුලින් ඇය මගේ මිතුරියකි. වත්මනේදී මෙන් ම අනාගතයේදී ද එසේම ය. ඈ නිසා ද දැන් ගම්පහ මා හට තවත් ළඟ ය.
ඒ කෙසේ වී තිබුණත් අද වන විට ගම්පහ බොහෝ මිනිසුන් වෙනස් ය. ඇතැමුන් ඉතාම Aggressive ය. ඇතැමුන් සාමකාමී ය. ඇතැමුන් බොහෝ පීඩාවකින් දිවි ගෙවති. ඇතැමුන් මිනිසුන් නොහඳුනා Reject කරති. නමුත් ගම්පහ ගම්පහ ම ය.
Comments
Post a Comment