Skip to main content

කටින් නම් නොව...

මෙය සංගීත ක්ශේත්‍රයට අදාළ වුවත් අනෙකුත් සියළුම ක්ෂේත්‍රයන්ගේත් මෙසේම ය යි දුටිමි. පසුගිය දිනෙක මා ළඟින් ම හඳුනන සංගීත අධ්‍යයක්ෂක වරයකුගේ තැටිගතකිරීමකට වයලීන සහ වියෝලා වාද්‍ය ශිල්පියකු ලෙස සම්බන්ධ වීමි. ඔහුට වයලීන සහ වියෝලා වාදනය සඳහා ශිල්පීන් කිහිපදෙනෙක් ම අවශ්‍ය බව මට පැවසූ නිසා මගේ පරම්පරාවේ, මා සම වයස් වල අප රටේ සිටින දක්ෂ සහෘදයින් කිහිපදෙනෙක් ට ආරාධනා කළෙමි. ඔවුන් සියළුම දෙනා ම ශ්‍රී ලංකාවේ සංධ්වනි වාදකමණ්ඩලයේ (Symphony Orchestra of Sri Lanka) සහ අප හිතවත් ලක්ෂ්මන් ජෝසප් ද සේරම් මහතා ප්‍රධාන Chamber Music Society හි වාදක මණ්ඩලයේ ක්‍රියාශීලි දක්ෂ ශිල්පීන් වේ. මා හට පැවරෙන තැටිගතකිරීම් සඳහා තවත් ශිල්පීන් අවශ්‍ය නම් මා තෝරාගන්නේ මෙවැනි ශිල්පීන් ම ය. හේතුව මා හට පැවැරෙන තැටිගතකිරීම් සඳහා 90% ම සපයනු ලබන්නේ බටහිර ස්වර ප්‍රස්ථාර වීම මෙන්ම වාද්‍ය ශිල්පියකු තුල තිබිය යුතු සහෘද භාවය, දැඩි විනය සහ ශිෂ්ඨසම්පන්න ගති පැවැතුම් සේ ම නම්‍යශීලීත්වයත් එම වාද්‍ය ශිල්පීන් තුල මනාව තිබෙන නිසා වේ.

               එදින මා ද මගේ සගයා ද ඔහුගේ යතුරුපැදියෙන් උදෑසන හතට පමණ මීරිගමින් පිටත් වූයේ අදාළ ශබ්දාගාරයේ කරගැනීමට අවශ්‍ය පෙර සැකැසුම් කරගැනීමට සහ අදාළ ස්වර ප්‍රස්ථාරය හෙවත් music score එකෙහි සංගීත නිර්මාර්තෘවරයා ට අවැසි ආකාරයෙන් මාගේ දැනුමෙන් Articulations සහ Directions දමා සැකැසීමටයි. අප අදාළ ශබ්දාගාරය වෙත ළඟාවන විට උදේ 8.40 පමණ වී තිබිණ. මේ සඳහා මා තෝරාගත් වාද්‍ය ශිල්පීන් ට අමතර ව එක් වාද්‍ය ශිල්පියෙක් අර සංගීත අධ්‍යක්ෂක වරයා විසින් තෝරාගෙන ඔහුට මේ සඳහා ආරාධනා කළේ මගේ ද කැමැත්ත ඇතිව ය. එම ශිල්පියා ද මගේ පරම්පරාවට වඩා කලින් පරම්පරාවේ කෙනෙකි. ඔහු වාදනයේ දක්ෂයෙකි. එමෙන් ම සංධ්වනි වාදක මණ්ඩලයෙහි ද යම් කාලයක් වාදනය කොට ඇත්තේ ය. මා ද ඔහු සමග බොහෝ අවස්ථා වල වාදනය කොට ඇත. ඔහුගේ නම "X" නම් මා ඔහුව අමතන්නේ "X අයියා" ලෙස ය. සත්‍ය නම සඳහන් කිරීම 'යුතු වැඩක්' නොවේ. එහෙයින් එය සඳහන් නොකරමි. ඔහුත් බටහිර වාදනය ප්‍රගුණ කළ අයෙක් වීම මගේ සතුටට එක් හේතුවක් කොට ගනිමින් සේ ම කලින් වතාවල් වල මා වාදනය කරනා විට ඔහුගේ මුහුණේ ඇති වූ කුහක බැල්ම මගේ අසතුටට එක් හේතුවක් කොට ගනිමිනුත් 🤣... මා ඔහුගේ පැමිණීමට කැමැති වී මි.

              විනාඩිය දෙක යද්දී මා මිත්‍ර වාද්‍ය ශිල්පීන් පැමිණෙන්නට විය. මා අදාළ වාදනයෙහි මුද්‍රිත ස්වර ප්‍රස්ථාරය රැගෙන අර X අයියා එන තුරු එහි Bow Directions, Expressions වැනි දෑ සංගීත අධ්‍යක්ෂක වරයා සමග සාකච්ඡා කරමින් ම පැන්සලෙන් සටහන් කළෙමි. මද වේලාවකින් සාමාන්‍ය පරිදි පැමිණියේ අර x අයියා ය. එක් වර ම ඔහුගේ ඇස් වෙනස් විය. කටෙහි හැඩය ද වෙනස් විය. ඒ මා සමග සිටි අනෙක් මගේ පරම්පරාවේ වාද්‍ය ශිල්පීන් තිදෙනා සහ වාද්‍ය ශිල්පිනිය දැකීමෙන් බව මට මනාව පසක් විය. ඉන් පසුව ඔහුගේ නෙත ගැටුනේ අර බටහිර ආරෙන් ලියූ ස්වර ප්‍රස්ථාර ‍ය වේ. එයින් අප x අයියාගේ හිත තවත් වෙනස් වන්නට ඇත. ඔහු එයින් පසුව මා ප්‍රධාන අනෙකුත් අය සැලැකූයේ හතුරන් ලෙස බව මට පසක් වුනි.

               අප x අයියා විසින් විවිධ Arpeggios සහ තාක්ෂණික ක්‍රම වයන්නට විය. එය ඔහුගේ Warmup වීම සඳහා ය. ඔහු සාමාන්‍යයෙන් Bow එක මත ඉතාම වැඩි ශක්තියක් යොදා වාදනය කරන්නෙකි. 

          ඉන් පසුව මා x අයියාට "X අයියෙ අපි මේකෙ directions ටිකයි expressions ටිකයි හදාගෙන ඉම්මු නේද? එතකොට වැඩේ ලේසියි නෙ" කියා ගෞරවනීය ව ආරාධනා කළෙමි.

        ඉක්බිත්තෙන් ඔහු "නෑ කෝ මේකෙ බෝවින්? ඉස්සරලා මේක ගහල ඉමු එක එක විදියට සද්දෙ ඇහෙයි. ආ.. කෝ මේකෙ ඔය කියන ඒව ළකුණු කරල දෙන්ඩ බලන්ඩ" ය යි ඉතාම ද්වේශ සහගත ව කියා සිටියේ ය.

                පාලක මැදිරියේ සිටි සංගීත අධ්‍යක්ෂ වරයාගේ ද මුහුණ වෙනස් වී ඔහු ද අප සිටිය ප්‍රධාන මැදිරියට පැමිණුනේ ය. ඔහු ගේ ද අණ අර x අයියා නොතැකූයේ ය. මා හට එම ප්‍රස්ථාරය දුන්නේ ය. පසුව විනාඩියක් යන්නටත් පෙර මා එහි fingering පවා ළකුණු කොට ඔහුට භාර දුනිමි. මා එකට එක කරන්නෙක් නොවූවත් මෙවන් 'එච්කන්නන්' හට ද්වේශයකින් තොරව මෙසේ පිළිතුරු දීමට ඉටාගත්තේ වසර තුනක් තරම් මෑත කාලයකදී සිට යි. එසේ සිතා සිටියත් මට එම වසර තුනට ම මෙවන් පුද්ගලයින් හමුවුනේ මොහු පමක් වීම මා සිතේ යම් ආකාරයක සතුටක් ජනිත කිරීමට සමත් විය.

         ක්‍රමයෙන් සැටහීම ඇරඹින. මා කලින් කීවාක් මෙන් මොහු ඉතාම තදින් වයන්නට විය. අඩු හඬක් ඇති තැන් වලදී ද අලුව තත් මත ඉතා තදින් තෙරපවමින් නොගැලපෙන අයුරින් මොහු වයන්නට විය. එම ක්‍රියාවත්, කලින් ඔහුගේ හැසිරීමත් නිසා අර වාද්‍ය ශිල්පීනුත් uncomfortable විය. එම වාදනයේ යම් අඩුපාඩු සිදුවූයේ නම් අප X අයියා හට 75% ක් ම වරද පැටවීමට මා බිය නොවෙමි. මෙවන් එක් පුද්ගලයකු මා අසා ඇත. මා එවැන්නන් සමග එකට වැයීමට ප්‍රිය කරන්නේ, අපේ පරම්පරාවේ අය ඔවුන් කම්මැලි කමින් මගහැරූ දේවල් නිවැරදිව ඉගෙනගෙන නිවැරදිව භාවිත කිරීම පෙන්වීමට සහ කලා ශිල්පියකු සතු මෘදු නිහතමානී ගුණයත්, සෘජු ගුණයත් සේ ම කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් ගුණයන් බොහෝ ප්‍රමාණයක් සංගීතඥයන් තුල මනාව තිබිය යුතු ය යි ඒත්තු ගන්වන්නට ය.

        ඉන්දියාවේ දක්ෂ සංගීතඥයන් සමගත් යුරෝපීය සම්භාව්‍ය සංගීතඥයන් සමගත් වාද්‍ය ශිල්පි ශිල්පිනියන් සමගත් බොහෝ සෙයින් සංගීත කටයුතු කොට ඇති මා හට අප X අයියාගේ ක්‍රියා කලාපය දැකීමෙන් සිනහ නැගුණේ කටින් නම් නොව.

Comments

  1. මං හිතන්නෙ බහුතරයක් දක්ෂයින් එහෙම නෑ. හැබැයි එහෙම අයට ඉහළ තැනකට එන්න වගේම ඉන්න ලේසි නෑ. කොටින්ම පුරුදු නෑ. නෑ නෑ ආස නෑ. ඔබ ඒ බහුතරය අතර මුඳුනින් ම ඉන්න කෙනෙක්(මට නං)

    ReplyDelete
  2. Replies
    1. ඒ සුන්දර දිනය මතකද?

      Delete

Post a Comment

Popular posts from this blog

රැකෝඩිං ඉංජිනේරුවරු

මගේ එක් මුදල් සෙවීමේ කාර්‍යයක් වන්නේ Audio Engineer කෙනෙකු ලෙස ස්වදේශීය සහ ඇතැම් විට අන්තර්ජාතිකවත් කටයුතු කිරීම ය. එය මා මුදල් සෙවීමට පමණක් ම නියැලෙන ක්ෂේත්‍රයක් ම නොවේ. ආත්ම තෘප්තිය සඳහා මෙන්ම කුඩා කල සිට පැවති ආශාවක් ලෙසත් කිව හැක. මාගේ දැනුමේත්, දැනුමටත් එහා අවබෝධයේ හැටියට නම් Audio Engineer කෙනෙකු ව හැඳින්විය යුත්තේ “ශ්‍රව්‍ය ඉංජිනේරු ශිල්පියකු” යන්නෙන් වේ. මෙම කාර්‍යය නිවැරදිව කරන පුද්ගලයන් ලංකාවේ නම් අතලොස්සකි. මා මෙම විශයට අදාළ නිවැරදි හැදෑරීම් අරඹන අවධියේදී එනම් 2003 වර්ශය අවසන් කාලයේදී ම මම පියානෝ හා සරපුවරු වාද්‍ය ශිල්පියකු ලෙස විවිධ තැටිගතකිරීම් සඳහා දායක වීම ඇරඹුනි. එවක් පටන් මා එක් එක් Audio Engineers ලා හඳුනා ගතිමි. ඇතැමෙක් ඉතා නිහතමානී ඇත්තෝ ය. තව සමහරක් ලේන්නු ඇඟ කසනවාක් මෙන් ඉතා කලබලකාරී ය. තවත් පිරිසක් තමා තරම් අය නැතැයි නොකියා උදම් අනන කොවිඩාසාදනය විය යුතු අය ය. ස්වදේශීයව ඇතැමෙක් එසේ වුවත් විදේශීයව එයාකාර අසිරියක් දැකගත හැකි නොවේ. මා පටන්ගත් කාලය දෙස බලනා කල, අපට උපාංග මිලට ගැනීමත් ඉතාම අසීරු විය. ඇතැම් ඉංජිනේරුවන් මයික්‍රෆෝන ස්ථානගතක...

ගණිතමය ගැයිය සහ චෞරාත්මක පුන ගැයිය

මා මිත්‍ර වාසලයා සහ උගේ මල්ලිලා බාණ සම්බන්ධව මගේ කිට්ටු මිතුරනුත් උගේ හැම මිත්‍රයනුත් සේ ම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඇතැමුනුත් දනිති. නොදන්නා ඔබට ඔවුන් හඳුන්වා දීමට හැක්කේ පසුගියදා රයිගම් ආයතනය මගින් පැවැත්වූ Raigam SoMe Awards දීප ව්‍යාප්ත නිර්මාණ තරඟයෙන් හොඳම නිර්මාණාත්මක Cover වීඩියෝව ට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ මෙම සහෝදර ත්‍රිත්වය යි යනුවෙන් හඳුන්වා දීමෙනි. උන් සතු Wave Lab SL ශබ්දාගාරයේ පරිගණකය එකලස් කිරීමේ පටන් මා හට ම ආරාධනා කිරීම එක් අතකින් නොව හැම අතින්ම ගතහොත්, පුරාජේරුවෙන් තොරවූද, අව්‍යාජාත්මක වූද ඔවුන් මා හට ඇති ගෞරවයක් සහ ඊටත් වඩා සැට්වීමට ඇති ආශාව බැවු මගේ සිතේ ඇති ප්‍රොමිනන්ට්මය විශ්වාසය වේ. එම ශබ්දාගාරයට ලැබෙන සමහර සැටහීමේ වැඩකටයුතු සඳහා වාද්‍ය ශිල්පියකු ලෙසත්, සැටහීමේ ඉංජිනේරු ශිල්පියකු ලෙස සහ පසු නිශ්පාදන ශිල්පියකු ලෙසත් මා හට සමහර අවස්ථාවලදී ඇරයුම් ලැබේ. එවන් එක් අවස්ථාවක් වන්නේ ලංකාවේ අපේ පරම්පරාවේ ජනප්‍රිය එක්තරා ශිල්පියකුගේ ගීයක පූර්ව නිශ්පාදන කටයුත්ත හා පසු නිශ්පාදනය නැත හොත් Editing, Mixing and Mastering කටයුත්ත වේ. එම ශිල්පියා කවුද'යි කීම සදාචාරාත්...